ණය බරට එරෙහි මවකගේ අරගලය

July 16, 2026
Woman in a pink patterned dress reads a book while seated on a chair outdoors.
UNDP Sri Lanka

අසනීප තත්ත්වයෙන් ඇඳටම සීමා වී සිටි කාලයක, වයි. එම්. ශිරාණි සොයිසා බියෙන් පසුවූයේ තම පවුල ජීවිත කාලය පුරාම වෙහෙස වී ගොඩනැගූ එකම සම්පත වන ඔවුන්ගේ නිවස අහිමි වනු ඇතැයි කියාය.

දිවුලපිටිය, විතානමුල්ල ප්‍රදේශයේ පදිංචි ශිරාණි දෙදරු මවක් වන අතර ඇය පාසල් යන මුනුබුරු මිනිබිරියන් සිව්දෙනෙකුගේ මිත්තණියකි. වසර ගණනාවක් පුරා ඇය අංශභාග රෝගියෙකුගේ සාත්තු සේවිකාවක ලෙස සේවය කළ අතර, බොහෝ විට සේවායෝජකයාගේ නිවසේම නැවතී පැය 24 පුරාම සේවය කළාය. ඇයගේ ආදායමෙන් ඇය පමණක් නොව, කුඩා පරිමාණයේ බත් පැකට් ව්‍යාපාරයකින් ජීවිකාව ගෙන ගිය ඇයගේ දියණිය සහ මුනුබුරු මිනිබිරියන්ද යැපුණහ.

නමුත් බලාපොරොත්තු සහගතව ගත් එක් තීරණයක් ඉක්මනින්ම බියකරු සිහිනයක් බවට පත් විය.

ඇයගේ පුත්‍රයා විදේශ රැකියාවකට යාම සඳහා පවුලේ නිවස උකසට තබා රුපියල් 650,000ක ණය මුදලක් ලබා ගත්තේය. මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණු මෙම ණය හිමියා, පොලිය අඩුවෙන් අය කරනු ඇතැයි විශ්වාස කළ මුළු පවුලම මීට එකඟ වූයේ දැඩි විශ්වාසයකින් යුතුවය.  මාස දෙකක් යනතුරු ඔවුන් වාරික වශයෙන් රුපියල් 250,000කට ආසන්න මුදලක් ගෙවීමට සමත් විය.

එහෙත්, ඉන්පසු සිදු වූ අවාසනාවන්ත සිදුවීම් මාලාවෙන්  සියල්ල උඩුයටිකුරු කළේය.

දියණියගේ දරු ගැබ ගබ්සා වීම, ශිරාණිගේ සොහොයුරාගේ මරණය සහ කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම හේතුවෙන් ඔවුන් මූල්‍යමය හා මානසික වශයෙන් දැඩි ලෙස ඇද වැටුණි. ශිරාණිට තවදුරටත් රැකියාවට යාමට නොහැකි වූ අතර ඇගේ පුතාට ද රැකියාව අහිමි විය. ස්ථාවර ආදායමක් නොමැති වීමෙන් පවුලට ණය වාරික ගෙවීමට නොහැකි විය.

ඉන්පසු එළඹුණේ ඉතා අසීරු කාලයකි. මාස කිහිපයක් ඇතුළත, ණය හිමියා මුදල් ඉල්ලා ඉතා දරුණු ලෙස බලපෑම් කිරීමට පටන් ගත්තේය. ඔවුන්ගේ තත්ත්වය නැවත නැවතත් පැහැදිලි කළද, පීඩනය තීව්‍ර විය. ඒ වන විටත් අසනීපයෙන් සිටි ශිරාණි, මානසික ආතතිය හේතුවෙන් අධික රුධිර පීඩනය වැළඳී රෝහල්ගත කිරීමට පවා සිදු විය.

වැඩි කල් නොගොස්, ඉල්ලීම් තර්ජන බවට පත් විය. පොලියත් සමඟ රුපියල් මිලියන 1.75ක් දක්වා ඉහළ ගොස් තිබූ ණය මුදල පියවන ලෙසත්, නැතිනම් දින කිහිපයක් ඇතුළත නිවසින් ඉවත් වන ලෙසත් පවුලට අවසාන නිවේදනය ලැබුණි. වසර ගණනාවක කැපවීමෙන් ඔවුන් ගොඩනැගූ නිවස අහිමි වීමේ අවදානමට ලක් වූ අතර, කුඩා දරුවන් ඇතුළු මුළු පවුලම මහමගට වැටීමේ තර්ජනයට මුහුණ දුන්හ.

"අපට මුලින් ගත්ත මුදලවත් තිබුණේ නැහැ, අපි කොහොමද මිලියන 1.75ක් හොයාගන්නේ?" ශිරාණි පවසයි. 

අවසාන දිනයට දින කිහිපයක් තිබියදී බලාපොරොත්තුවේ රිදී රේඛාවක්  මතුවිය. මිතුරෙකු විසින් ශිරාණිගේ දියණියව ගම්පහ පිහිටි ණය සහන මණ්ඩල කාර්යාලය වෙත යොමු කරන ලදී.

ණය සහනදායක මණ්ඩලයේ නිලධාරීන් පවුලට සහතිකයක් ලබා දෙමින් ඉදිරි පියවර සඳහා ඔවුන්ට මඟ පෙන්වීය. 

නීතිමය ක්‍රියා පටිපාටි පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබූ ශිරාණිට මෙම ක්‍රියාවලිය බියකරු වූ නමුත්, ඇයට ලැබුණු මගපෙන්වීම විශාල වෙනසක් ඇති කළේය.

"බය වෙන්න එපා කියලා ඔවුන් අපිට කිව්වා. ඒක අපිට ලොකු ශක්තියක් වුණා," ඇය පවසයි.

ණය හිමියන් මුලදී නඩු කටයුතු මඟහැරියද, පසුව ඔවුන්ටපැමිණීමට සිදු විය. මේ අතරතුරදී තම ඉඩමේ අයිතිය තමන් නොදැනුවත්වම ණය හිමියා වෙත පවරා ඇති බව ඔවුන්ට  අනාවරණය විය. පවුලේ සාමාජිකයන් කම්පනයට පත් වූයේ එවිටය. 

එසේ වුවද, මණ්ඩලය මැදිහත් වී සාධාරණය වෙනුවෙන් පෙනී සිටියේය. සාකච්ඡා මාර්ගයෙන් නව එකඟතාවයකට එළඹුණු අතර, ඒ යටතේ කළමනාකරණය කළ හැකි කොන්දේසි මත ණය පියවීමට 2027 දක්වා වූ  කාලයක් ශිරාණිගේ  පවුලට ලබා දෙන ලදී.

ශිරාණි සේවය කළ පවුල, ඇයගේ තත්ත්වය දැනගත් පසු මානුෂීය අයුරින් ඉදිරිපත් විය. ඇය සාත්තු කළ රෝගියාගේ දියණිය, ණය පියවා දේපළ නැවත ලබා ගැනීම සඳහා රුපියල් 800,000ක මුදලක් ලබා දුන්නාය. එම මුදල දැන් ශිරාණිගේ වැටුපෙන් ක්‍රමයෙන් අඩු කර ගනු ලැබේ.

වසර ගණනාවක අවිනිශ්චිතතාවයෙන් සහ බියෙන් පසුව, මීට මාස දෙකකට පෙර ශිරාණි සිය නිවසේ අයිතිය නැවත ලබා ගැනීමට සමත් වූවාය.

"මම හිටියේ ලොකු බයකින්. දැන් මගේ හිතට සහනයක් දැනෙනවා. මට යම් දෙයක් වුණත්, මගේ දරුවන්ට ඉන්න තැනක් තියෙනවා," ඇය පවසයි.

දැන් ඇය තදබල කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටියද සිය සත්කාරක සේවය දිගටම කරගෙන යන්නේ අලුත් ස්ථාවරභාවයකිනි. ඇගේ දියණිය කුඩා ව්‍යාපාරය හරහා දරුවන් සිව්දෙනා පෝෂණය කරන අතර, වරක් ආතතියෙන් හා අවිනිශ්චිතතාවයෙන් පීඩා විඳි පවුල දැන් සෙමින් සැනසීම සොයා ගනිමින් සිටී.

ශිරාණිට මෙම අත්දැකීම වැදගත් පණිවිඩයක් ඉතිරි කර ඇත.

ණය සහනදායක මණ්ඩලයෙන්  ඇයට ලැබුණු සහයෝගය නීතිමය වශයෙන් පමණක් නොව මානසිකවද විශාල ශක්තියක් විය. මේ හේතුව නිසාම, යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව, අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා UNDP සහ UNICEF ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ ක්ෂේත්‍රයට සහය දැක්වීමේ (JURE) ව්‍යාපෘතිය මගින් ණය සහනදායක මණ්ඩලයට (DCB) අවශ්‍ය සහය ලබා දෙයි. ඒ හරහා ශිරාණි වැනි සාමාන්‍ය පුරවැසියන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමට එම මණ්ඩලයට අවස්ථාව උදා වී ඇත. 

"අපට තනියම නැගී සිටීමට නොහැකි වූ මොහොතේ ඔවුන් අප වෙනුවෙන් පෙනී සිටියා," ශිරාණි පවසයි.

ඇයගේ බලාපොරොත්තුව නම්, මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දෙන අනෙක් අයද ප්‍රමාද වීමට පෙර නිසි උපකාර ලබා ගනු ඇති බවයි.

"පිහිටක් සෙවිය යුතු මඟ නොදැනීම නිසාම, කිසිවෙකුගේ නිවසක් ඔවුන්ට අහිමි වීමට ඉඩ නොතැබිය යුතුයි."